ඡන්දය දැමිය යුතු පිළිවෙල…. (නව සංස්කරණය)
බදාදා සතියේ දවසකි. ඒත් වාසනාවන්ත මාසයකි!. ඉතිහාසයේ පැවැත්වෙන කම්මැලිම මහ මැතිවරණය එදිනට පැවැත්වේ.. මාස ගණනාවක් තිස්සේ දිගැදුනු නමුත් ඒ හරහා රටේ පාලක බලය වසර 5ක් දක්වා ලබාගන්නා අයට ‘ජය’ හිමිවනු ඇත…
ඡන්දය පාවිච්චි කිරීම ගැන ඇත්තේ අඩු උනන්දුවකි.ඡන්දය අපේ පරම අයිතියයි. ගෙදර දෙයියනේ කියල ඉන්නත්, ලේ රත්වෙවී ඉන්නත්, කළකිරීමෙන් ඉන්නත් බලපාන්නේ ඔබේ ඡන්දය මිස වෙනකක් නොවේ. එබැවින් අලුත් දේශපාලනඥයින් පාර්ලිමේන්තු යවන්න.. පක්ෂය පාට අදාළ නැත.
ඒ හන්දා එදා උදේට ගොඩක් අය වැඩට යාවි..වරුවෙන් ඒවි..නිවාඩු තියෙන දුර බැහැර අය ගෙදර ඉදීවි.. කොහොම වුණත්
උදේ හයටවත් ඇහැරෙන්න.. ඉන්පසු චූ කිරීම යහපති. උදේට කුණු කෙළ පෙරාගෙන නැගිටල උයන්න. මොකද එකපාර උයාගත්තම දවාලටත් ලේසියි. දතකට මැද, බඩට මොනවා හෝ දමාගෙන කිසිදු පක්ෂයක වර්ණයකට නැති ‘රෙද්දක්’ ඇඳගන්න… වැඩට යන ගමන් ඡන්දෙ දාන්න පුලුවන්. මොකද උදේ 7ට බඩු ඇරල…
කිරිබත් කන්න එපා. කන තත්ත්වක් රටේ නෑනේ. අනික මගදී නිව්ස් ඇහෙද්දි කක්කාබර ඇතිවිය හැකියි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අරගන්න. එහි තමුන්ගේ නම නිවැරදිව තිබේදැයි එදා උදේවත් බලන්න..
ජාතික හැඳුනුම්පත ගන්න, නැත්තං වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ගන්න, මුකුත් නැත්තං ලැයසොං එක හෝ තාවකාලික හැඳුනුම්පත ගන්න. මට හැඳුනුම්පත් දෙකක් ඇත. නමුත් අංකය එක ය. සමහර අපේක්ෂකයන්ට හැඳුනුම් පත් අංක දෙකකුත් පාස්පෝට් දෙකකුත් ඇත. වාසනාවට මට පාස්පෝට් එකක් පමණක් ඇත. වෙන රෙද්දවල් උස්සං ගිහින් එතන මිනිස්සුන්ට පව් දෙන්න එපා..කිව්වම මොකද, ඔෆිස් අයිඩෙන්ටිය, පිං පඩි හැදුනුම්පත, සිවිල් ආරක්ෂක කමිටුවෙ අයිඩෙන්ටිය, මුතුහර ළමා සමාජේන් දීපු එක, තැපැල් අයිඩෙන්ටිය 1985 විතර ඕලේවල් කරපු, විසිටින් කාඩ්, සමූපකාරේ කූපන් පොත වගේ ඒවා උස්සං යන්න එපා..! මොකද අර මාගල එක්ක ඔට්ටු වෙලා ඉන්න ඒ මිනිස්සුන්ව පාන්දරම මළපන්නවන්න එපා.. මක් නිසාදයත් ඒ අහිංසක රජයේ සේවකයන් නිසා ය.
ආ! මේ පාර ඡන්දෙ දාන විදිය වෙනස්
ඒ හන්දා ඔය එක එක අපේක්ෂකයන්ගේ ලකුණු ගහපු නැති අර ගෙදර හැම ලබ්බෙ තොයිලෙකට තියෙන හැමදාම නැතිවෙන පෑන, හොයන පෑන… හැබැයි දම්පාට, ලුමිනස්පාට, රතුපාට කොළපාට පෑන් ගෙනියන්න එපා..අන්න කලු හෝ නිල් පෑනක් අරගන්න.. පෑන අත්‍යවශ්‍යයි. රජයෙන් කාටවත් පෑන් ලබා දෙන්නෑ. හේතුව මෙවර කෝවිඩි නිවාරණ වැඩපිලිවෙල යටතේ ඉතාම තද නීති බලපැවැත්වෙනවා වගේම ඉහළම ආරක්ෂාවක් තමයි ජනතාවට ඡන්දපොළ තුළ ලබාදෙන්නෙ..ඒ හන්දා හීනෙන්වත් කෝවිඩ් ඡන්ද පොළ තුළ දි නම් හැදෙන්නෑ…
එළියට බහිද්දි ගන්න අර කොක්කෙ එල්ලල යට ඇදුම් වගේ අදින මාස්ක් එක… සතියක්ම දාපු…නාහෙ වටේ කහපාටට බැදිල තියෙන… කුනුකෙළ ගද නිසා පර්ෆියුම් චුට්ටක් ඉහළ ඒකයි අරවයි කලවම් වෙලා සුවද දෙන ඒ අසහාය මාස්ක් රාජයා පළදින්න… ඇති ඇත්තෝ කති බොති සුඛති නිසා ස්ර්ජිකල් මාස්ක් එකක් දාගන්න.
පාරට බැහැලා පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා වගේ පන්සල් යන විදියට ජෝඩු දාලා යන්න එපා.. මොකද සමාජ දුරස්ථභාවය ඉතා වැදගත්.. හැබැයි උදේම යන්න. වෙන් වෙන්ව යන්න..පවුලෙම අයනං එකපාර ගෙදර තියෙන තුන්සරණෙ හරි, බයිසිමොටොවෙ හරි, වාහනේ හරි නැගල යන්න..
මුලින්ම ඡන්දයක් දාන උන් හිතන්න එපා, උඹලා ජෝර්ජ් මහරජ්ජුරුවො කියල හිතං වැඳගෙන වඩම්මගෙන යන්නෑ. ඒ නිසා ඒ උපදෙස්, නාමපුවරු කියවල ඒ වැඩේට යන්න. මේ පාර ඡන්ද දායකයො වැඩි නං තමා ගෑනු පිරිමි පොළිම් වෙන් වෙන් ව තියෙන්නෙ…නැත්තං අල්ලපු ගෙදර ඇන්ටි එක්ක හරි පෝලිමේ ගියහැකි හැබැයි මීටරයක් ඈතින්..ජැක් ගහන්න යන ටයිප් එකට යෑම තහනං..පොලිස් මාමල ඉන්නවා..
ඕක අස්සේ ටැලිපොන්, කැමරා පෑන්, ඇක්ෂන් කැමරා ආදිය ගෙනියන්න එපා.. සඟ දාලා තොප්පි දාලා, බුර්කා දාලා මේකප් තට්ටු හතක්දාලා බුකි සෙලිබ්රිටිල වගේ යන්නත් එපා. මොකද ඒ මනුස්සයන්ට හඳුනාගත හැකි විය යුතුය! අනික මාස්ක් දාන නිසා ඔය මොනව කරත් වැඩක් නෑ..
ඡන්ද පොළ නිලධාරීන් එක්ක සිරික්කිය දමන්නට, ඡන්දපොල නිරීක්ෂණයට එන පක්ෂවල තරුණ-තරුණියන් සමඟ හුරතල් වෙන්න යන්න එපා. බුම්මාගෙන අහන දේකට විතරක් උත්තර දෙන ගමන් ඔබේ හදුනාගැනීමේ පත්‍රය පරීක්ෂාකරන නිලධාරියාට හෝ නිලධාරිනියට ඔබේ මාස්ක් එක එක් පසෙකින් ගලවා මුහුණ අනාවරණය කිරීම අනිවාර්යයෙන් කළ යුතුමයි. ආයෙ මාස්ක් එක දාගන්න හොදේ…
සමහරවිට පත හෑල්ලක් එක්ක තියෙන, කැතම කැත ඔබේ නම, ලව්ස්පීකරෙන් කියන්නාක්මෙන් ඇහෙද්දී ලැජ්ජාවක් දැනෙනු ඇත. තමා ප්‍රසිද්ධියේ නිරුවත් කළා සේ හැඟෙනු ඇත..! නොසැලෙන්න. ඒ මහතාට ඔබේ ඡන්ද කාඩ්පත දෙන්න එපා!!! එතුමා පෙන්නාවි පොඩි ලාච්චුවක් වගේ පෙට්ටියක් හරි පියනක් හරි ඒකෙන් තියන්න.. මොකද ඒ නිලධාරීන් දන්නෑ ඔබ මොන ගුබ්බෑයමක රිංගල, මොන කකුස්සිය අස්සෙ ගිහින් එනවද කියල…කොරොනා නිසා ඒ අය ඡන්ද කාඩ් අල්ලන්නෑ!
දැන් කෝටි ගණනක් වියදම් කරල ගත්තු සැනිටයිසර් ඔබේ අත්වලට ඉහිනව..අසාත්මිකතා ඇති නොවන්නට විශේෂයෙන් සැකසූ දියරයක් තමා භාවිත කරන්නේ.. අත සෝදලා එයාලා දෙන ටිෂු කඩදාසියෙන් අත පිහල ඒක නියමිත තැනට දාන්න. නැත්තං සාක්කුවේ දාගෙන එන්න.. හැට්ටෙ අස්සෙ හරි ගහගෙන ගෙදර ගෙනියන්න.
තුන්වැනි නිලධාරියා ඔබේ සුමුදු සුදුමුදු අතැගිලි නොඅල්ලමින්.. ඉටිකූරක්, ඒ කිව්වේ අර ගිනිකූරු වල තියෙන වගේ කූරකින් ඔබේ චූටි ඇගිල්ලෙ අර තීන්ත ආලේප කරාවි.
තවත් නිලධාරියෙක් ඔබට ඡන්ද පත්‍රිකාව ලබාදේවි. දැන්
අර කාඩ්බෝඩ් බොක්ස් එක මැදට යන්න. ඒවා සමහර විට කීපයක් තියල ඇති තදබදේ අඩුකරන්න. ගෙදරින් ගෙනාපු අර අම්මා ගෙදර බඩු ලිස්ට් ලියන කොපුව නැති පෑනෙන් ඔබ කැමති පක්ෂයකට මුලින් ඡන්දය ප්‍රකාශ කරන්න. ඉන්පසු එම පක්ෂයේ තමුන් කැමැති තිදෙනෙකුට එක මනාපය බැගින් පළ කරන්න. ඉස්සර වගේ එකාට තුනම ගහන්න බෑ! ඒ වගේම පක්ෂයට නොදී අංක වලට මනාප ගැහුවත් අලවංගුයි..!
කොළය කාඩ්බෝඩ් බිත්තියට හේත්තුව දිග ඇරගෙන තමා ආස සලකුණ නොව, රටේ අනාගතය වෙනුවෙන් සලකුණු කළ යුතු ඡන්ද සලකුණ හොයාගන්න… කෝවිඩ් වලට එරෙහිව සටන් කළ යුතු පුද්ගලයන් සිටින කණ්ඩායම තෝරාගන්න..ඔබට ගණ දෙවියන්ගේ පිහිටයි…
ඉන්පසුව, දන්නා ස්තෝත්රයක්, ඉෂ්ට දේවතාවෙක්, ගාථාවක් සිහිකර ගනිමින් ගමේ ඉන්න, බුද්ධිමත්, වැඩක් කරපු හෝ කරන්න පුලුවන් අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවකට තම ඡන්දය X ලෙස හෝ මනාප ලෙසින්. එය කළ යුත්තේ එම ඡන්ද කොළයේ ඇති අංක සදහන් කොටුවේ ඇතුළේ මිස, ඔබ වැසිකිළි වළ වටේ හිතේ හැටියට රෙන ආකාරයට නොවේ..
අරක හතර පහකට නවා, ‘නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු’ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටියට දමන්න.. නමුත් එය හත අටකට, දොළහ දාසයකට නවා ඔබේ ඔරිගමි හැකියාව පෙන්වීම අවශ්‍ය නැත. එවිට ප්‍රමාද වන්නේ ඡන්ද ප්රතිඵලයි.. ඔබේ ඡන්ද පත්‍රිකාවේ බෝට්ටු, අහස් යාත්තරා දිගඇර ඇර ඉන්නවාට වඩා ගණනය කරන අයට වැඩ තිබේ…
දැන් එතන ටැග් ගැහි ගැහි ඉන්නේ නැතුව වහාම එළියට යන්න. යන්න කලින් අතසෝදාගන්න පහසුකම් සලසල තියෙනවා.. ඒක අනිවාර්යයෙන් කරගන්න. රජය ඒකට මුදල් වැඩ කරල ඉවර නිසා ඒවා පිරිමහන්න යන්න එපා! යනගමං මහ හයියෙන් තොපේ දේශපාලනේ එතන කියවන්න එපා. වෙඩි තියාවි…
හවස 4.55ට විතර එතන ගිහින් පූදින්න එපා. මොකද ඒ මිනිස්සුන්ට වැඩ තියෙනව.. මොන්ට්මොරොන්සි වගේ රටේම ඉන්න පර බල්ලො එක්ක රස්තියාදු ගගහ ඉඳල අන්තිම මොහොතෙ ගිහින් ඡන්දෙ දාන්න බැරිවුණා කියල වැළලෙන්න එපා.!
ඡන්දය නියම ගමේ නිතර දකින, ගමට වැඩකරපු, රටට වැඩක් කරපු, රටට කීර්තියක් ගෙනාපු කෙනෙක්ට රහසිගතව දෙන්න.එය ලබා දුන් බවට බුකියේ පෝස්ට් දමන්නට අවශ්‍ය නැත. ඇඟිලි පෙන්නන්න අවශ්‍ය නැත. තියෙන දෙයක් කාලා බුදියගනිල්ලා.. පහුවදාට නිවාඩු නැත.
උපුටා පළකිරීම / ෂෙයා කිරීමේ අයිතිය කියවන්නන් සතුය. අගති විරහිත ය.
Leave A Comment