61552828_10217563891862508_1946085299981385728_n

CCTV කතාව තවදුරටත්… – 2 කොටස

කලින් කේබල් ගැන කතාකළා වගේ විදුලි සැපයුම ගැනත් කතා නොකර බැහැ. මොකද හොද කල් පවතින කැමරා පද්ධතියක් සදහා බලසැපයුම් පද්ධතිය ඉතා වැදගත්. ආරක්ෂාව අතිනුත් එහෙමමයි.

මුල් කාලයේ සෙන්ට්‍රලයිස්ඩ් පවර් සප්ලයි පාවිච්චි කරා. නමුත් පසුව ඒක ප්‍රවීණ කාර්මිකයින් අතහැර දමනු ලැබුවා. මොකද වෝල්ට් 12කින් යුතු ඇම්පියර් 10-20ක පවර් සප්ලයි එකකින් සියලුම කැමරා වලට බලය ලබාදිය හැකිවුවත්, විදුලි විසර්ජනයකදි මේවායේ ඇති ‘ඉහළ ගුණාත්මක බව’ නිසා පිළිස්සී යනව ඉතාම පහසුවෙන්. අනික් ගැටලුව සියලුම කැමරා එවිට අකර්මණ්‍ය වෙනවා. බොහෝ දෙනාගේ මිල අඩු පැකේජ වල තියෙන්නෙ මේ බල සැපයුමක්. මොකද ඒක වයරිං ක්‍රියාවලියෙදි සහ මුදල අතින් තරමක් ලාබදායක සහ ලේසි නිසා. මුල් කාලේ කරේ හැම කැමරාවකටම විදුලි සැපයුම් සොකට් එකක් හරහා පොඩි පවර් ඇඩැප්ටර් එකකින් විදුලිය ලබාදීම. එයත් ආරක්ෂාකාරී වුණාට. විදුලි සැපයුම් පොයින්ට් වයරිං කරන එක හරිම වාතයක්. වියදමත් වැඩියි.
‍‍හොදම දේ තමා අයිසොලේටඩ් පවර් සප්ලයි හරහා හැම කැමරාවකටම වෙන් වෙන්ව බලය සැපයීම. ඒවා මිලෙනුත් අඩුයි. ආරක්ෂාකාරීයි. ගොඩක් හොද විශේෂාංග සහිත ගුණාත්මක පවර් බොක්ස් හොයාගන්න පුලුවන් වෙළෙදපෙලේ.. නෙට්වර්ක් කැමරා කරන අයට POE SWITCH හරහා ඒ කිව්වේ පවර් ඔවර් ද ඊදර්නෙට් ක්‍රමයට ස්විච් එකක් හරහා කැමරාවලට බලය ලබාදෙන්න පුලුවන්..ඒවා සාමාන්‍ය මට්ටමේ අයට කරන්න පුලුවන් සහ දරන්න පුලුවන් වැඩ නෙවෙයි. මේවා තමා වඩා ප්‍රතිඵලදායක ක්‍රම. තවත් ක්‍රම තිබ්බට ඒවා ගැන කතාකරල වැඩක් නෑ..
‍‍
ලොකුම වැඩේ ගෙවල් වල කැමරා සවිකරන්න ගියාම තියෙන ප්‍රශ්න. නියුට්‍රල් සහ පේස් එකේ දෙකේම විදුලිය එනවා.. අර්ත් එකෙත් එනවා.. යකඩ ආවරණයක් තියෙන ඒවා අල්ලන්න බෑ…! වම දකුණ මාරුවෙලා විදුලිය එනවා.. සියලු වැඩ කරන්නේ එල්ලි එල්ලි තියෙන සොකට් වලින්, මල්ටි ප්ලග් ගහල, බාල වර්ගයේ පේව්මන්ට් එකේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝර්ඩ් වලින්තමයි.. ඉතින් රටේ නැති ප්‍රශ්න. එහෙම තැන්වල කැමරා සවි කරන්නේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නව නං විතරයි. මොකද හැමදාම යන්න වෙනවා අලුත්වැඩියාවන් වලට. පෞද්ගලිකව මම නං කරන්නෙම නැහැ..

ඒ හන්දා ඇම්පියර් 13 සොකට් දෙකක් බිත්තියට හයිකරන්න ඕනි DVR යන්ත්‍රයට ආසන්නයෙන්. ඒකට සර්කිට් බ්‍රේකර් එකක් හරහා තමයි විදුලිය දෙන්න ඕනි. ඒ වගේම රුපියල් තුන්දාස්ගාණෙවත් තියෙන තඹකූරක් පොළවට බස්සල වෙනම අර්ත් ලයින් එකක් ගන්න ඕනි. මොකද අලුත්ම ගෙවල් වල හැර අනික් ගෙවල් වල අර්ත් එක එතරම් හොද නැහැ. ලාබ අර්ත් කූරු බස්සල හිත සනසගෙන වැඩකුත් නෑ! අර සර්කිට් බ්‍රේකර් එකේ වටිනාකම තියෙන්නේ මේ වයර් මීයෝවත් කාලා අනතුරක් වෙන්න තියෙන සහ අපිට මේකෙ අවුලක් කියල දැනගන්න තියෙන එකම ක්‍රමය ඒකයි. ආරක්ෂාව ඊටත් වඩා තියෙනවා. නමුත් මේ සියල්ලට අමතර මුදල් වැයවෙනවා..

ඊලගට සර්ජ් ප්‍රොටෙක්ටරයක් සවිකළ යුතුයි. රටේ විදුලිබල මණ්ඩලය පිස්සු කෙළින නිසාත් ලක්ෂගාණක වැඩක් එක විදුලි පහරකින් විනාශ වුණොත් පාරිභෝගිකයාත් කාර්මිකයාත් දෙදෙනාම අන්ත අසරණ වන නිසා. මොකද අකුණු – විදුලි සැර වලට වගකීම් දෙන්නේ නෑ.! අනික වර්ෂාව තියෙන වෙලාවක වුණත් බය නැතුව වැඩ කරන්න පුලුවන්. මේකෙන් කියන්නෑ සොබාදහමේ හැම ප්‍රහාරයකටම මේක හරියනව කියල.. දැවැන්ත අකුණු වලට සමාවක් නෑ.. නමුත් මුකුත් නොකර ඉන්නවට වඩා මේක වැදගත්. මොකද එහෙම වුණොත් විනාශ වෙන්නෙ අඩු උපකරණ සංඛ්‍යාවක් මිස සමස්ත පද්ධතියම නෙවෙයි. අපට සටන් කළ හැකි සීමාවෙ අනික් උපාංගය UPS එකක් යෙදීම, ඒක ආරක්ෂාවට වගේම බැකප් එකටත් ඉතාම වැදගත්. හානිදායක විද්‍යුත් විසර්ජන වලදි මේ බ්‍රේකර්, සර්ජ් ඇරෙස්ටර්, UPS වලින් අමිල මෙහෙයක් සිද්ධ වෙනවා. ඔය මොනව කළත් වැඩක් නෑ 4G රවුටරයක් නොදා ටෙලිකොම් ලගේ ADSL රවුටරෙන් කැට් කේබල් එකක් අදල DVR එකට ඉන්ටනෙට් සැපයුම කරොත්! අනිවා අකුණකින් බඩු පිච්චෙනවා. කොහොමත් UPS එකක් හරහා බලය නොදුන්නොත් සදා දුකේ. කැමති අය ඕනෑ බම්බුවක් ගසාගත්තාවේ..
‍‍
මේ ත්‍රිත්ත්ව ආරක්ෂණය යොදපුවහම අඩුතරමේ නිදහසේ හිතේ බයක් නැතුව ඉන්න පුලුවන්. ඊටත් වඩා වහින වෙලාවට ගොරවල වෙලාවට මේක ගලව ගලව ඉන්නේ නැතුව ඉන්න පුලුවන්. අනික ආරක්ෂාවට සවිකරන දෙයක් සැරින් සැරේ දාන්නයි, ගලවන්නයි ගියාම ඒකෙ ඇති වැඩක් තියෙද?

Tags: No tags

Leave A Comment

Your email address will not be published. Required fields are marked *